Gossips

මහනුවර වැනි ගැටුම් යළි ඇතිවිමට ඉඩ දෙන්නේ නැහැ

පසුගියදා මහනුවරදී ඇතිවූ ආකාරයේ ගැටුම් යළි ඇතිවීමට රජය කිසිසේත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 44 වන සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එහිදී පොලීසියේ ක්‍රියාමාර්ග පිළිබඳවද විශේෂයෙන් සොයා බලන බවයි.
එමෙන්ම මෙරට ජාතික අනන්‍යතාව කුමක්ද යන්න අප විසින් තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
‘‘නීතිය හා සාමය පවත්වාගැනීමෙන් තොරව කිසිදු සමාජයක පැවැත්මක් අපේක්ෂා කරන්න බැහැ. මේ මාසය මුලදී ඇතිවූ නීතිය හා සාමය බිඳවැටීම් යළි ඇතිවීමට රජය ඉඩ තබන්නේ නැහැ. භාෂාව සහ ජාතිය මුල් කරගෙන වසර 30 ක යුද්ධයකට පැටලූනු ශ්‍රී ලංකාවට යළිත් එවැනි අරගලයකට මුහුණදීමට හැකියාවක්ද නැහැ. අප සමාජය නවීකරණය, අධිරාජ්‍යවාදී යුගය දක්වා අතීතයට ඇදී යනවා. ජාතික අනන්‍යතාව ගොඩනැගීමේදී ඉන්දියාව සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බව කිව යුතුයි. විවිධ භාෂා සහ ආගම් මත බෙදුණු ඉන්දියාව නිදහසින් පසු යළිත් බෙදීමකට ලක්වූයේ නැහැ. කෙසේ නමුත් පාකිස්ථානයට බංග්ලාදේශයේ වෙන්වීම දරාගැනීමට සිදුවුණා. මෙම තත්ත්වය යටතේ අප ශ්‍රී ලාංකික අනන්‍යතාව කුමක්ද යන්න තීරණය කළ යුතුයි. ජාතීන් අතර එකඟත්වය සහ ජාතික එකමුතුව යනු කුමක්ද යන්න අප විසින් තීරණය කළ යුතු කරුණක්. ’’