Gossips

මහනුවර වන්දි ගෙවන්න අමාත්‍යාංශ 04 ක්

මහනුවර ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථානයන් සඳහා වන්දි ලබාදීමේදී ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වනවිට සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින්ට සහ හානියට පත්වු දේපල සඳහා වන්දි ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අද සිට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වන්දි ලබාදීමේ විශේෂ ජංගම සේවාවක්ද ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ වන්දි ගෙවීම අවසන් කරන ලෙසටයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
මීට අමතරව වන්දි ගෙවීම සඳහා බුද්ධශාසන, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු මෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශ 04 ක් වෙන්කර ඇති බව සඳහන්.
නොසන්සුන්තාවය ඇතිවු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට තවමත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා.
මේ අතර, කෑගල්ල – දමුණුකොල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ යළි ජාතීන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ඇති කිරීමට කාලය එළැඹ ඇති බවයි.