Gossips

මහනුවර දේපළ සඳහා වන්දි ගෙවීම කඩිනම් කරයි

මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් වලින් පසු හානි සිදුවූ දේපළ සඳහා කඩිනමින් වන්දි ගෙවීමට අද පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා ප්‍රදේශය නියෝජනය කරන දේශපානඥයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආගමික නායකයන් ද එක්ව සිටියා.
මේ අතර, එම දිස්ත්‍රික්කය තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබදව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද දහවල් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රදේශයේ දැනට සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
කෙසේ වෙතත්, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා තවදුරටත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ද ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර, වසා දමා තිබූ දිස්ත්‍රික්කයේ සියලූම පාසල් අද දින යළි විවෘත කෙරුණා. එමෙන්ම පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරි තත්ත්වය හේතුවෙන් කල් දමනු ලැබූ ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි මහා ක්‍රිකට් තරගය ලබන මාර්තු 16 සහ 17 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම, එලෙස කල් දමනු ලැබූ විද්‍යාර්ථ – ශාන්ත සිල්වෙස්තර මහා ක්‍රිකට් තරගය දැන් පැවැත්වීමට තීරණය කර ඇත්තේ ලබන මාර්තු 21 වනදා සහ 22 වනදායි.