Politics Sri Lanka

මහනුවර කළහකාරී සිද්ධීන්වලින් 2ක් මරුට 11කට තුවාල – 71ක් සැකපිට අත්අඩංගුවට.

මහනුවර කළහකාරී සිද්ධීන්වලින් 2ක් මරුට 11කට තුවාල – 71ක් සැකපිට අත්අඩංගුවට.

මාර්තු 04 වැනි දා සිට ඊයේ (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ(08) වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද සිටිති.

මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට ඊයේ(08) උදෑසන 6.00 දක්වා කාලයේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 වාර්තා වූ බවත්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් පොලිසිය කියයි.

මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ පොලිස් වසමේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබා ඇතැයි ද එම නිවස තුල තිබී 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත්තේයැයි ද, දුම ආඝ්‍රාණය වීමෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කිරීමට යෑමේදී අත්අබෝම්බයක් පිපිරී පුද්ගලයකු මිය ගොස් ඇතැයි ද, අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයේ තිබී සොයා ගත්තේයැයිද ඔහු අවුරුදු 28ක පුද්ගලයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අවස්ථාවේ තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.