Gossips

මහනුවරට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා.
එම කණ්ඩායම් තුනට නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු සහ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ඇතුලත්.
මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රි අටේ සිට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු හයෙන් අවසන් වුණා.
කෙසේ වෙතත්, තවදුරටත් තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවට අමතරව යුද හමුදාව ඇතුලු ආරක්ෂක හමුදා කණ්ඩායම්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
එමෙන්ම රටේ ස්ථාන කිහිපයක පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන සතියක කාලසීමාවක් සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළා.
ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින්.
මේ අනුව හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසි මගින් පවතින තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලතල පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පැවරෙනු ඇති.
මේ අතර, මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලූම පාසල් අද දිනයේ ද වසා තැබෙන බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සඳහන් කළා.
එමෙන්ම ඊයේ රාත්‍රියේ මැණික්හින්න ප්‍රදේශයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට යාමේදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.