Gossips

මහනුවරට පස්වරු 6 සිට යළි ඇදිරි නීතිය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා යළිත් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ප්‍රදේශයේ සාමකාමී තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් මෙලෙස ඇදිරි නීතිය පැනවූ බවයි.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේදී විදේශීය සංචාරකයින්ට සිය ගමන් බලපත්‍රය, අවසර පත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.
මේ අතර, මහනුවර සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව, අද උදෑසන 6 දක්වා කාල සීමාව තුළ නිවාස, පූජනීය ස්ථානවලට අලාභ හානි සිදුකළ පුද්ගලයින් 71 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
මේ අතර, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ද බැහැදැක ප්‍රදේශයේ පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කරනු ලැබුවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර අද මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ හානි වූ නිවාස සහ ව්‍යාපාර ස්ථාන තක්සේරු කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවයි.