Gossips

මහනුවරට තවදුරටත් ඇඳිරි නීතිය – කළහකාරී සිද්ධීන් දැනුම්දෙන්න, සහය සේවා මධ්‍යස්ථානයක්

හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පස්වරු 4ට පවනවනු ලැබූ ඇඳිරි නීතිය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රජයේ සේවකයින්, පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු පොදු ස්ථානවල රැඳී සිටීම තහනම් බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා.
උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරන කණ්ඩායම් ක්‍ෂණිකව මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහය සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය තුළ පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි මෙම සහය සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව 0711 261 261 අංකයට අමතා මේ පිළිබඳව දැනුම්දිය හැකියි.
එමෙන්ම මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.
මේ අතර, මතභේදයට තුඩුදුන් අම්පාර ප්‍රදේශයේ ආපනශාලාවේ තිබූ ආහාරවල අඩංගු වූයේ පිෂ්ඨ කොටස් පමණක් බව රජයේ රස පරීක්ෂකවරයා සිය වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.