Gossips

මහජන සේවාවන් බාධාවකින් තොරව ඉටු කරන්නැයි ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

මහජන සේවාවන් පවත්නා නීතියට අනුකූලව කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබාදී තිබෙනවා.
අද පෙරවරුවේ සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම සියලූ රාජ්‍ය සේවාවන් ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනටමත් අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්
අද (04) දින පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී. එහිදී;
“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.
තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියළුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”
ජනාධිපති මාධ්‍ය අංශය