Gossips

මහජන පීඩා ගැන පොලීසිය අවදානයෙන්

ඒකාබද්ධ විපක්ෂය අද (05) දින කොළඹදී පවත්වන ජනබලය කොළඹට විරෝධතා රැළිය අතරතුර මහජන පීඩාවන් ඇතිවන පරිදි කටයුතු කළහොත් පොලිස් ආඥා පනතේ නීතිරීතිවලට අනුව කටයුතු කරන බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, මෙම විරෝධතාවයට එරෙහිව පොලීසි 3ක් කළ ඉල්ලීම් අධිකරණය ඊයේ (04) ප්‍රතික්ෂේප කළා.
කුරුඳුවත්ත පොලීසිය කළ එක් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට රැස්වීමට මෙන්ම අදහස් දැක්වීමට ද අයිතියක් ඇති බවයි.
එමෙන්ම මෙම විරෝධතාවයේදී බත්තරමුල්ල ප්‍රදේශයේ මාර්ග අවහිර කරමින් ඒකාබද්ධ විපක්ෂය පා ගමනකින් පැමිණීම නිසා මහජන පීඩාවක් ඇති විය හැකි බවට කරුණු දක්වමින් වැලිකඩ පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වාගෙන් කළ ඉල්ලීම ද විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා.
ඊට අමතරව ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවට සදහන් කරමින් විරෝධතාවට එරෙහිව කොල්ලුපිටිය පොලීසිය ඉල්ලූ නියෝගය ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ විශේෂ ස්ථාන කිහිපයක් ආරක්ෂා කිරීමට පමණක් පොලීසිය මෙලෙස අධිකරණ නියෝග ඉල්ලා සිටි බවයි.
මේ අතර, විරෝධතා රැළිය පැවැත්වීම සඳහා ඉල්ලා සිටි කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කිහිපයක් තමන්ට ලබාදී නොමැති බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකරන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ කොළඹ නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඉල්ලා සිටි ස්ථාන කිහිපයක් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව සඳහා ලබාදුන් බවයි.
අනෙක් ස්ථාන කිසිදු පාර්ශවයකට ලබාදිය නොහැකි ඒවා බවයි ඔහු කියා සිටියේ.