Gossips

මසුන් ඇල්ලීමට ගිය යාපනයේ ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන්, අදත් පළාත් කිහිපයකට වැසි, මුහුදත් රළුවේ

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද (28) දිනයේද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි අතර, මේ නිසා මුහුද රළු විය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර සඳහන් කළේ.
යාපනය – කුරුකට්ටුවාන් මුහුදට මසුන් මැරිම සඳහා ගිය ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මොවුන් මසුන් මැරීම සඳහා මුහුදට ගොස් ඇත්තේ පෙරේදා පස්වරු 1.45 ට පමණයි.
මුහුද රළු බැවින් ඒ පිළිබඳව නාගදීපය නාවික හමුදා කඳවුරට දැනුම්දෙන ලෙස ඊයේ (27) උදෑසන 7 ට පමණ දුරකථන ඇමතුමක් ලබාදී මොවුන් නිවැසියන්ට දන්වා තිබෙනවා.
අතුරුදන් පිරිස සෙවීම සඳහා යාපනය පොලීසිය නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර අත්තනගලුඔය පිටාර ගැලීමත් සමඟ අවට මාර්ග තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් අද (28) දිනයේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී තිබෙනවා.