Gossips

මල්වතු මහ නාහිමියන්ගෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්

රටේ ව්‍යාකූලත්වයක් සහ අස්ථාවරත්වයක් ඇති නොවන ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බව මල්වතු මහනායක අති පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.
ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් පසු රටේ පවතින වාතාවරණය ජනතාවගේ යහපැවැත්මට මෙන්ම සහජීවනයට බාධාවක් බවයි.
මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් රාජ්‍ය පාලනයේ බිඳ වැටීම හා ආර්ථික පරිහානිය ද ළගාකර දෙන බව මල්වතු මහනාහිමියන් යොමු කළ ලිපිවල සඳහන් කර තිබෙනවා.
මෙම තත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කර 2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කළ යුතු බවයි නාහිමියන් ලිපියේ දක්වා ඇත්තේ.
විශේෂයෙන් ගොවි, කම්කරු සහ මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර සහ ගැටලු විසඳීමට කටයුතු කිරීම හා ජාතික ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය, සමාදානය ඇති කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු බව මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.