Gossips

මරණ දඬුවම ද ? ජී.එස්.පී.ප්ලස් ද ? – යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් යුරෝපා සංගමය මගින් ලබාදෙන ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි වනු ඇතැයි යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කළා.
එමගින් පෙන්වා දෙන්නේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය සංවර්ධනය වෙමින් පවතින රටවල් මානව හිමිකම්වලට ගරු කිරීම උදෙසා දිරිමත් කිරීම සඳහා ලබාදෙන්නක් බවයි.
2010 වසරේදී ද ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් අහිමි වූයේ මානව හිමිකම් උදෙසා කැපවීම සාක්ෂාත් කරලීමට නොහැකිවීම නිසා බව ප්‍රංශ පුවත් සේවයේ වාර්තාව මගින් වැඩිදුරටත් සඳහන් කළා.
වසර 7ක විරාමයකින් පසු එය නැවත ශ්‍රී ලංකාවට හිමි වූයේ නව රජය 2015 වසරේ යුරෝපා සංගමයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.
ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව යුරෝ මිලියන 300ක පමණ ආර්ථික වාසියක් හිමි වන බව යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය, කැනඩාව සහ නෝර්වේ රාජ්‍යය සමඟ එක්ව ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තමන් සෑම අවස්ථාවකදීම දැඩි ලෙස සහ පැහැදිලි ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවයි.
මේ අතර, ශ්‍රී ලංකාව තවදුරටත් තමන් මානව හිමිකම් පිළිබඳ අවධානයෙන් පසුවන රටවල් ලැයිස්තුවට ඇතුළත් වන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමගින් වැඩිදුරටත් සඳහන් කළේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනය සැලකූ විට ශ්‍රී ලංකාව ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් බවයි.
විශේෂයෙන් සුළු ජන ප්‍රජාවන්ගේ අයිතීන් සුරැකීමට මෙන්ම සංහිදියාව සඳහා කැපවීම් ඉටු කරලීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවයි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.
බ්‍රිතාන්‍යය මානව හිමිකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන රටවල් 30කට අදාළව 2017 වසර සඳහා නිකුත් කෙරුණු මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් කර තිබෙනවා.