Gossips

මරණ දඬුවම දෙන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපති අතට – කාල වකවානුවත් තීරණය කර අවසන්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබාදීම සඳහා මේ වන විටත් නාම ලේඛන පිළියෙල කොට දින වකවානු ද තීන්දු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කර, මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ අවස්ථාවට කැළණිය – මගුරුවෙල පිහිටි ඞී.එන්.එස්. ගබඩා සංකීර්ණයේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකෙරෙන්නේ දෙවන වරටයි.
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 928ක් ප්‍රථමවරට විනාශ කෙරුණේ පසුගිය වසරේ ජනවාරි මාසයේදියි.
මෙරට දී අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොග අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූලව විනාශ කළ දෙවන අවස්ථාව වන මෙහිදී කොකේන් කිලෝ 769යි ග්‍රෑම් 464ක් විනාශ කෙරුණා.
මෙම කොකේන් තොගය රුපියල් කෝටි 1000කට ආසන්න වටිනාකමකින් යුක්තයි.
ඒවා විනාශ කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සහ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල්ගේ අධීක්ෂණය යටතේයි.
මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ කිරා වෙන් කෙරුණු ඝන කොකේන් තොග ද්‍රව බවට පත් කිරීම මෙහිදී සිදුකෙරුණු බව සඳහන්.
මෙලෙස විනාශ කෙරුණේ 2016 වසරේ ජුලි 7 වන දා ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 301යි ග්‍රෑම් 235ක්, එම වසරේම නොවැම්බර් 9 වන දා කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 31යි ග්‍රෑම් 844ක්, නොවැම්බර් 24 වන දා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 219යි ග්‍රෑම් 950ක් සහ 2017 වසරේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 216යි ග්‍රෑම් 435ක් ඇතුළත් කොකේන් තොගයක්.
රසායනික ක්‍රියාවලියක් හරහා කොකේන් මත්ද්‍රව්‍ය ද්‍රව බවට පත් කිරිමෙන් අනතුරුව ඒවා බහාලනු ලැබුවේ විශේෂිත ටැංකි 4කටයි.
එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ වසර දෙකක් තුළ මෙරටින් සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවයි.
මෙලෙස දියර බවට පත් කෙරුණු කොකේන් පසුව පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලමේ පිහිටි ඉන්සි සිමෙන්ති කර්මාන්තශාලාව වෙත රැගෙන යනු ලැබුවා.
එහි ඇති උඳුනක් තුළ සෙල්සියස් අංශක 1800ත්, 2000 ක උෂ්ණත්වයක් යටතේ තත්ත්පර 4ත්, 6ත් අතර කාලසීමාවකදී විනාශ කර දැමීම සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවයි.
මේ අතර, මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අනිද්දා උදෑසන සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී එය සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.