Gossips

මරණ දඬුවම ගැන,අද කැබිනට්ටුව නිහඬයි

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී දඬුවම් ලබමින් සිටියදීත්, එම ජාවාරමට සම්බන්ධ සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා.
නීති, බන්ධනාගාර සහ අධිකරණ යන ක්ෂේත්‍රවලට අදාළ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද දිනයේදී පත් කෙරෙන බවටයි මීට පෙර වාර්තා පළවුණේ.
මේ අතර විදුලිබල අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ මරණ දඬුවම හිමිවීමෙන් අනතුරුවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී එකඟත්වයක් ඇති කරගෙන ඇති බවයි.
එය ක්‍රියාත්මක කිරීමේදී සමාජය මත ඉන් ඇතිවන බලපෑම තක්සේරු කිරීමේ හැකියාව පවතින බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
මේ අතර ඉකුත් පැය 24ක කාලය තුළදී රුපියල් ලක්ෂ 45 කට අධික වටිනාකමින් යුක්ත හෙරොයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
හෙරොයින් පැකට් 22ක් සමඟ වයස අවුරුදු 26 ක තරුණියක් ගල්කිස්ස අධිකරණ භූමියේදී අද අත්අඩංගුවට ගත් අතර, ඊයේ රාත්‍රියේ වැලිකඩ – බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 24 ක් වටිනා හොරොයින් ග්‍රෑම් 201 ක් සමඟ අත්අඩංගුවට ගත්තේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූ කෙසෙල් වත්තේ ලසාගේ ගෝලයෙක්.
එමෙන්ම ඊයේ දිනයේදීද බොරැල්ල ප්‍රදේශයේදී 32 හැවිරිදි කාන්තාවක් සහ 25 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.