Gossips

මරණ දඩුවම නියම වූ මත් ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනය සැකසේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛණය මේ වනවිට සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.
එය සකස් කිරීමෙන් අනතුරුව සිරකරුවන්ගේ නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලබාදෙන බවයි එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඩුවම නියම වී සිරදඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබාදීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කළා.
ඒ අනුව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන වදක තනතුර පුරප්පාඩු වී ඇති බැවින් එය කඩිනමින් පිරවීම සදහා මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව සිය කීර්ති නාමයට හානියක් සිදුකරගනු ඇති බව මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ශ්‍රී ලංකාව පිළිබදව පවතින සුබවාදී වාර්තාව දිගු කාලීනව පවත්වා ගැනීම සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය අහෝසි කළ යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ.
මේ අතර, ජනතා යහපත වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක, දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසනවා. උන්වහන්සේ කියා සිටියේ එය පාලකයන්ගේ වගකීමක් වන බවයි.
අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද ජනතා යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කරනවා.