Gossips

මරණ දඩුවම ගැන ජනපතිගෙන් යළි ප්‍රකාශයක්

ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් මුල් හිමිකරුවන් වෙත ලබාදී ඇති අතර ඉතිරි සියයට 12 ද කඩිනමින් එම ජනතාවට ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිය තුල රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
තවදුරටත් ආරක්ෂක අංශ භාරයේ පවතින මයිලිඩ්ඩි පාසල ඇතුලු පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 2 තුල නිදහස් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළකළා.
ජනාධිපතිවරාය එහිදී සඳහන් කළේ වරාය ආශ්‍රිතව ඉඩම් අහිමිවු ජනතාවට ද ඉඩම් ලබාදීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
රට තුල යළිත් යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලුදෙනාගේ අරමුණ විය යුතු අතර රට ආපස්සට ඇද දැමු මිලේච්ඡ ත්‍රස්තවාදයට යළිත් කිසිසේත් රට තුල ඉඩක් තැබිය නොහැකි බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළා.
මේ අතර උතුර ඇතුලු රටටම අභියෝගයක් වී ඇති මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළකළා.
ඔහු කියාසිටියේ බන්ධනාගාරගතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ඇතුලු නීති රීති කිසිදු පැකිළීමකින් තොරව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර, යාපනය – තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 4 කට අධික ප්‍රමාණයක් ඊයේ ඒවායේ මුල් අයිතිකරුවන් වෙත භාරදීම සිදුකෙරුණා.
ඒ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.
මෙම ඉඩම් වසර 30 කට අධික කාලයක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස යුද හමුදාව යටතේ පැවතුණා.