Gossips

මරණයකින් කෙළවරවූ සරදම

විනෝදය පිණිස සිදුකරන ක්‍රියාකාරකම් ඛේදාන්තයකින් අවසන් වූ අවස්ථා අප සමාජයෙන් විටින් විට අසන්නට ලැබෙනවා.
එවන් ආකාරයේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වලස්මුල්ල – කෝන්ගහවත්ත ප්‍ර දේශයෙන් අපට වාර්තා වුණා.
අනිල් කුමාර.වෘත්තියෙන් පෙදරේරුවෙකු වන 39 හැවිරිදි ඔහු එක් දරු පියෙක්.
ඔහු පසුගිය වසරේ නොවැම්බර් 29 වැනි දින සිය මිතුරෙකුගේ ප්‍රියසාදයකට එක්ව තිබෙනවා.
එම ප්‍රියසාදයේදී තමන් අසුන් ගෙන සිටි ආසනයෙන් මොහොතකට නැගී සිටින අනිල් යළි අසුන් ගත්තත් ඔහු ඇදවැටී තිබෙනවා.
ඒ ඔහුට සරදමක් කිරීමේ අපේක්ෂාවෙන් සාදයේ සිටි පුද්ගලයෙක් විසින් අනිල් අසුන් ගෙන සිටි ආසනය පිටුපසට ඇද තිබීම හේතුවෙන්.
පසුව අනිල්ගේ සිරුරේ ඇතිවූ වේදනාවන් නිසා ඔහු කටුවන දිසා රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් කටයුතු කරනවා.
එම රෝහලෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකරන අනිල්ට සිදුවන්නේ, එහි වෛද්‍යවරුන් නිර්දේශ මත කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වීමටයි.
එහිදී වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ ඇදවැටීම නිසා අනිල් කුමාරගේ සුෂුම්නාවේ ඉහළ කොටසේ බිඳීයාමක් සිදුවීම හේතුවෙන් ශරීරයේ ඉන්ද්‍රියන් අඩපන වෙමින් පවතින බවයි.
ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර ලබන අනිල් ඉකුත් 4 වැනිදා සිය ජීවිතයෙන් සමුගන්නවා.
පිරිසක් එක්ව සිටින විවිධ අවස්ථාවල තවකෙකුට සරදමක් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ ක්‍රියා සිදුකිරීම බොහෝවිට සිදුවන්නක්.
ඇතැම්විට පාසල් පන්ති කාමරය තුළදී මෙවැනි ආකාරයේ සිදුවිම් සුලභව සිදුවනවා.
නමුත් එම ක්‍රියාකාරකම් අත්කර දෙන්නේ මෙවන් බරපතළ අමිහිරි අවසානයක් විය හැකියි.