Gossips

මරණයක් නිසා කැස්බෑව උණුසුම් වෙයි

කහතුඩුව, හෙරලියාවල ප්‍රදේශයේදී පොලීසිය කළ වැටලීමක් අතරතුර තරුණයෙකු මිය යාමට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් ඊයේ (19) කැස්බෑව නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
කහතුඩුව පොලිසිය කහතුඩුව, හෙරලියාවල ප්‍රදේශයේ පසුගිය 16 වෙනිදා සිදුකළ වැටලීමක් අතරතුර මෙම තරුණයා පළා ගොස් තිබුණා.
අතුරුදන්වූ එම තරුණයා පොලිසියට බියෙන් උස් ඒදණ්ඩ ඇලට පැන ඇති බවට වූ තොරතුරු මත ඥාතීන් එදින රාත්‍රීයේ ඔහු සෙව්වත් කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.
පසුදින නාවික හමුදාවේ සහාය ඇතිව කළ සෝදිසි මෙහෙයුමේදී සිරුර හමුවූ අතර ඥාතීන් චෝදනා කළේ පොලීසිය තරුණායට පහරදී ඝාතනය කර ඇති බවටයි.
පිළියන්දල, කැස්බෑව, නිවුන්ගම පිහිටි නිවසේදී 20 හැවිරිදි නලීන්ද කසුන් වෙනුවෙන් ආගමික වතාවත් පැවති අතර අනතුරුව දේහය අවසන් කටයුතු සඳහා රැගෙන ආවා.
එහෙත් ඊට පෙර ඥාතීන් දේහය රැගෙන කැස්බෑව නගරයට පැමිණ උද්ඝෝෂණය කළේ පොලීසියට එරෙහිවයි.
අනතුරුව ඔවුන් කහතුඩුව පොලීසිය අසළට යන බවට ලැබුණු තොරතුරු මත කැස්බෑව අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගයක් පොලීසිය ඥාතීන් වෙත භාර දුන්නා.
ඥතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.