Gossips

මනෝ ප්‍රමුඛ සන්ධානය, අගමැති සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක

නව ගිවිසුම තුළින් වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
පස්වරු 04 ට අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් පසුගිය සඳුඳා මෙම ගිවිසුම අත්සන් කළේ වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.
එම ගිවිසුමට අනුව වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් ලෙස ඉහළ නැංවෙන අතර, තේ මිල අනුව රුපියල් 50 ක මුදලක් ද, අමතර තේ දළු කිලෝවකට රුපියල් 40ක් ද හිමි වනු ඇති.
මීට අමතරව වතු කම්කරුවන්ගේ මාස 3ක හිඟ වැටුප් ගෙවීමට ද, වසර දෙකකට බල පැවැත්වෙන පරිදි අත්සන් තබා ඇති නව අවබෝධතා ගිවිසුම යටතේ එකඟ වී තිබුණා.
කෙසේ වෙතත්, මෙම ගිවිසුමට අනුව සැබෑ ලෙසම වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වී නොමැති බැවින් එය අවලංගු කරන ලෙස ඉල්ලා හැටන්, මස්කෙලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල වතු කම්කරු විරෝධතා දියත් වුණා.
අද අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන්ට අමතරව එහි සම නායකවරුන් ලෙස කටයුතු කරන අමාත්‍යවරුන් වන පලනි දිගම්බරන් සහ වී.රාධාක්‍රිෂ්ණන්ද එක්වනු ඇති.
වතු කම්කරු වැටුප් ගැටළුවට මෙහිදී විසඳුමක් නොලැබුණහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී සාකච්ඡා කරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ.