Gossips

මන්නාරම සමූහ මිනී වළ ගැන නව පුරාවිද්‍යා මතයක්

මන්නාරම සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් පෘතුගීසීන් සහ ලන්දේසීන් සමඟ සිදුවූ සටන් වලදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ යැයි පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා.
ඒ, ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බව මේ වන විට අනාවරණ වීම පිළිබදව අදහස් දක්වමින්.
කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ අස්ථි සාම්පලවල වාර්තාව ඊයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය, මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධියට පත් කෙරුණා.
ඒ අනුව මෙම සමූහ මිනී වළ වසර 500ත්, 600ත් අතර කාලයක් පැරණි එකක් විය හැකි බව විශේෂඥයින් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කියා සිටියේ අදාළ කාලය තුළ මන්නාරම ආශ්‍රිත ප්‍රදේශවල පෘතුගීසීන් සහ ලන්දේසීන් සමඟ සටන් රැසක් සිදුව ඇති බවයි.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් ඉවත් කළ පස්, මන්නාරම – එමිල් නගර් ප්‍රදේශය වෙත ගෙන ගොස් තිබූ අතර, එහි තිබියදීයි පළමු වරට මිනිස් අස්ථි කොටස් පසුගිය වසරේ මාර්තු 26 වැනිදා හමුවී තිබුණේ.