මන්නාරම සමූහ මිනීවලේ පාද අස්ථියක් බැඳ තිබූ ඇට සැකිල්ලක් හමු වී තිබෙනවා.
එය ලෝහයකින් බැඳ ඇති බවට සැක කෙරෙන අතර, ඊයේ හමුවූ මිනිස් සැකිල්ලක මෙම අස්ථි කොටස තිබූ බවයි සමූහ මිනීවලේ කැණීම් මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ කියා සිටියේ.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ හමු වූ මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු පසුගිය මැයි මාසයේ ආරම්භ කෙරුණු අතර, කැණීම් සිදුකිරීම් අත්හිටුවීමෙන් පසු පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට යළි එහි කැණීම් ආරම්භ කෙරුණා.
ඒ අනුව ගත වූ දින 10 තුළ මිනිස් ඇට සැකිලි 31 ක් හමු වී ඇති අතර, මේ දක්වා හමුවූ සම්පූර්ණ මිනිස් සිරුරු සංඛ්‍යාව 266 ක්.
එම සිරුරු මේ වනවිට මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂ කුටියක තැන්පත් කර ඇති අතර, ඒවා ඉදිරියේදී කාල නිර්ණය සඳහා ඇමරිකාව වෙත යැවීමට සැලසුම් කර තිබෙනවා.
මුහුදු මට්ටමේ සිට මීටර් දෙකක් ගැඹුරැති මෙම සමූහ මිනීවලෙන් හමු වූ සිරුරුවලින් 19 ක් කුඩා ළමයින්ගේ බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ කියා සිටියේ.
ඊයේ දිනයේදී හමු වූ විශේෂිත අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රාත් සරවන රාජා විසින්ද නිරීක්ෂණයට ලක් කළා.
