Gossips

මන්නාරම සමූහ මිනීවලට විග්නේෂ්වරන් තවත් පරීක්ෂණයක් ඉල්ලයි

මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘ඉන්දියාවේ ඉදලා ආපු අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් කියලා තියෙනවා මේ සමූහ මිනීවල අවුරුදු 50 කට කලින් සිදුවුණු සිදුවීමක් කියලා. ඒ නිසා මොනව ද වුණේ කියලා අපි හරියටම දන්නෙ නැහැ. අවුරුදු 50 කට කලින් වුණා කියලා කියලා තියෙද්දී, ඇමරිකාවෙන් ආපු වාර්තාවේ සදහන් වෙනවා ඒක අවුරුදු 500 ක් පරණ එකක් කියලා. එම සිදුවීමත් එක්ක විවිධ වශයෙන් මේ සම්බන්ධයෙන් අපිට මේ ගැන සැක මතුවෙනවා. ඒ නිසා ක්‍රමවත් පරීක්ෂණයක් සිදුවන්න ඕනා කියලා අපි කියනවා. මේක වාර්තාවක් පමණයි. අධිකරණය මේ සම්බන්ධයෙන් බලන්න ඕනා. මේක පිළිගන්නවද නැද්ද කියලා. අවුරුදු 500 කට කලින් මියගිය කෙනෙක්ගෙ ඇටසැකිලි නම්, පරීක්ෂා කළේ ඒක අවුරුදු 500 ක් කියලා කියනවා. කොහොම වුණත්, අපි කියනවා මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් සිදුකරන්න ඕනා කියලා. ’’
කෙසේ වෙතත්, ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බවට අනාවරණ වුණා.
ඒ, කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ අස්ථි සාම්පලවල වාර්තාව මේ මස 07 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟයි.
එම අස්ථි කොටස් එම කාල වකවානුවට අයත්වීමේ සම්භාවිතාව සියයට 95කට අධික බවයි එම වාර්තාවේ දැක්වුණේ.
ඒ අනුව මෙම සමූහ මිනී වළ වසර 500ත්, 600ත් අතර කාලයක් පැරණි එකක් විය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් ඉවත් කළ පස් මන්නාරම – එමිල් නගර් ප්‍රදේශය වෙත ගෙන ගොස් තිබූ අතර, එහි තිබියදීයි පළමු වරට මිනිස් අස්ථි කොටස් හමුවූයේ පසුගිය වසරේ මාර්තු 26 වැනිදායි.