Gossips

මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 53 ක කොටස් මතුවෙයි

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ඊයේ(25) සවස වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පවසනවා.
රාජපක්ෂ පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 53 කට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර,ඉන් සිරුරු 34 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවි ඇති බවයි.
කැනීම් මගින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සදහන් කළා.
මුලින් පස් ඉවත්කළ කොටසේ අස්ථි සෙවීමේ කටයුතු මේවන විට මතුකරගෙන පවතින අතර, අදාළ ස්ථායට එපිටින් වන අනෙකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම දෙවන අදියර යටතේ සිදුකරන බවද හෙතෙම ප්‍රකාශ කළා.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
පුරාවිද්‍ය නිළධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 40 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 53 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිළධාරීන් සඳහන් කළා.
මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන්ගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ , මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.
මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවු අතර, එහිදිද මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවුණා.