Gossips

මන්නාරම මිනී වළේ කැණීම් කටයුතු මාස 3කට නවතී

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු රස පරීක්ෂක සහ පුරාවිද්‍යා වාර්තා ලැබෙන තුරු මාස 3ක කාලයක් තාවකාලිකව නතර කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී ඊයේ (22) පැවැත්වූ සාකච්ඡාවකදියි මෙම තීරණය ගෙන ඇත්තේ.
සාකච්ඡාව සඳහා මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා, විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනෙකු, පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් සහ මන්නාරම පොලිස් නිලධාරීන් එක්ව සිටියා.
එහිදී මෙම සමූහ මිනීවල සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනයට යොමුකළ සාම්පල්වල වාර්තා ලැබීමේ ප්‍රමාදය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාව මේ වනතෙක් නොලැබීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා.
අදාළ වාර්තා මාස 3ක් ඇතුලත ලබාදෙන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කිරීමත් සමඟයි අදාළ කැණීම් තාවකාලිකව අත්හිටවනු ලැබුවේ.
එම වාර්තා ලැබීමෙන් පසු එහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා අනුව මාස 3 ක කාලයකට මෙම කැණීම් කටයුතු තාවකාලිකව නතර කළ බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය මාර්තු 8 වනදා වනවිට දින 156 ක් මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු සිදුකිරීමෙන් මිනිස් අස්ථි කොටස් 342 ක් සොයාගත්තා.
ඉන් මිනිස් අස්ථි කොටස් 330 ක් මේ වනවිට ගොඩගෙන ඇති අතර, ළමයින් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස් ඒ අතර පවතින බවයි අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.
ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යවන ලද අස්ථි සාම්පල් කොටස්වල කාබන් වාර්තාව පසුගිය ජනවාරි 23 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මේ වනතෙක් ගොඩගෙන ඇති මිනිස් අස්ථි කොටස් පුරාවිද්‍යා ක්‍රමවේදයට අනුව පස් දමා තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බවයි අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
යළි කැණීම් කටයුතු ආරම්භ කරන තෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා.