Gossips

මන්ත්‍රී සුදර්ශණී නිසා ඒකාබද්ධයේ සහ දෙමළ සන්ධානයේ බෙදීම්

නියෝජ්‍ය කතානායක ධුරයට නම යෝජනා වූ පාර්ලිමේන්තු මන්ත්‍රිණී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ සම්බන්ධයෙන් ජන්දය ප්‍රකාශ කිරීමේදී ඒකාබද්ධ විපක්ෂය සහ දෙමල ජාතික සන්ධානය තුල බෙදීමක් සිදු වුණා.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියට සහය දැක්වීමට තීරණය කළ බවයි.
එය එසේ සිදු නොවීමට හේතු සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කළා.
දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළේ රහස් ජන්දයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බවයි.
පුරප්පාඩුව පැවති නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී නම් දෙකක් යෝජනා වුණා.
එක්සත් ජාතික පක්ෂය, ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනා කළේ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ නමයි.
පසුව මේ සඳහා රහස් ජන්දයක් පැවති අතර එහිදී ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා ජන්ද 97ක් ලබාගනිමින් නියෝජ්‍ය කතානායක ලෙස තේරීපත් වුණා. සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට හිමිවුණේ් ජන්ද සංඛ්‍යාව 53ක් පමණයි.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය නියෝජ්‍ය කතානායක ධුරයට සුදුසු බව ජන්ද විමසීමට පෙර ප්‍රකාශ කලද ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී දෙමල ජාතික සන්ධානය ජන්දය දීමෙන් වැලකී සිටියා.
ජනතා විමුක්ති පෙරමුණ ද ජන්දය ප්‍රකාශ නොකළ අතර ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද ජන්ද විමසීමට එක්වූයේ නැහැ.
සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ සනත් නිශාන්ත අතර බහින් බස් වීමක් සිදු වූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා සඳහන් කළේ අදහස් පළ කිරීමක් මිස බහින් බස්වීමක් සිදු නොවූ බවයි.
පක්ෂ නායක රැස්වීමේදී ඡන්ද විමසීමක් පිළිබඳ තීරණයක් ගෙන නොතිබුණ නිසා ඡන්දය විමසන අවස්ථාවේ ඉන් වැලකී සිටි බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති කියා සිටියේ.