Gossips

මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට ගැනීමට, පොලීසිය අධිකරණයට කරුණු කියයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.
කිරිබත්ගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට අදාළව අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. ඒ ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු දියත් කරන බව ද අදාළ නිලධාරියා සඳහන් කළා.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදුන් බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට චෝදනා එල්ල වී ඇත්තේ.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී නිවසට පොලිස් කණ්ඩායම් නික්ම ගියද ඔහු නිවසේ නොසිටි බවට වාර්තා වුණා.
පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී ඇත්තේ ජගත් ප්‍රසන්න ගමගේ නැමැති පුද්ගලයෙකුටයි.
පහරකෑමට ලක්වු පුද්ගලයා මේ වනවිටත් කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.