Gossips

මන්ත්‍රී දයාසිරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඔහුගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බවට පසුගියදා කථාබහක් ඇතිවුණා.
කෙසේ වෙතත් පසුව ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මැතිවරණ සමයේ තමන්ට රුපියල් මිලියනයක චෙක්පතක් ලැබී ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම මගහරිමින් සිටින බවටද පසුගියදා මාධ්‍ය වාර්තා ද පළවී තිබුණා.
අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රුපියල් ලක්ෂ 30 ක චෙක්පතක් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණයට දැනුම්දුන්නා. පසුව රාජ්‍ය අමාත්‍යවරයාද කියා සිටියේ එවැනි මුදලක් තමන්ට ලැබුණු බවයි.
මීට පෙර අමාත්‍ය සරත් ෆොන්සේකාද රුපියල් ලක්ෂයක මුදලක් අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබුණු බව පිළිගෙන තිබුණා.
මේ අතර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් මහජන නියෝජිතයන්ට එරෙහිව රාවණා බලය සංවිධානය අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම හමුවේ අද පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.
එහි කොමසාරිස් නෙවිල් ගුරුගේ පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කළේ අල්ලස් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් කොමිසමට විමර්ශනයක් සිදුකළ හැකි බවයි.
මේ අද අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මන්ත්‍රීවරුන් මුදල් ගත් බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කරන බවයි.
මේ අතර වානිජ හා විශේෂ බැංකු 33 ක පවත්වාගෙන යන ගිණුම්වලින් ලබාදී ඇති මුදල් ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මහ බැංකුව අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ සමාගම් 4 කට දැනුම්දී ඇති බවද වාර්තාවනවා.