Gossips

මන්ත්‍රී කුමාර වෙල්ගමට නඩු පැවරීමට අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අවසර ලැබුණා ද ? අධිකරණය විමසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහිව නඩු පැවරීම සදහා අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය, ලබාදුන් අවසර ලිපිය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළා.
ඒ මන්ත්‍රීවරයා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපති තනතුරක් පිහිටුවා ඊට තම හිතවතෙකු පත් කර රජයට පාඩු සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් පවරා ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සදඟන් කළේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ලිඛිත අවසරයකින් තොරව කොමිසම මෙම නඩුව පවරා ඇති බවයි.
කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සදහන් කළේ ඊට අවසර ලබා ගත් ලිපියක් ඇති බවයි.
ඒ අනුව, අදාළ ලිපිය ලබන මස 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා.