Gossips

මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සන්ෂයින් සුද්දාගේ හෝටලයේ CCTV දර්ශන පොලීසියට

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට මිරිස්ස ප්‍රදේශයේ හෝටල් හිමියෙකු වන සන්ෂයින් සුද්දා නමැති පුද්ගලයාගේ හෝටලයේ සී.සී.ටී.වී දර්ශන පොලීසිය ලබාගෙන තිබෙනවා.
මාතර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මධූෂ් සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ කටයුතු මූලික කරගෙන මෙම දර්ශන ලබා ගැනීමට කටයුතු කළ බවයි.
මේ අතර, මධූෂ්ගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය ඊයේ සොයාගත්තා.
ඒ, ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදීයි.
මාකඳුරේ මධූෂ්ගේ සහ ඔහු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පාතාල සාමාජිකයින් 06 දෙනෙකුගේ නිවාස පරීක්ෂා කිරීමට පොලිසිය ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
මාතර කොට්ඨාශ භාර උසස් පොලිස් නිලධාරීයෙකු කියා සිටියේ එහිදී 38 හැවිරිදි අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා නැමැත්තාගේ ගන්දර නිවසෙන් මෙම හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල සහ උණ්ඩ මෙන්ම හිස් කොපු කිහිපයක්ද සොයාගත් බවයි.
නිවසේ සිටි ජංගා ගේ 82 හැවිරිදි මුත්තණුවන්ද පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම, පොලිසිය ඊයේ දිනයේදී පාතාල නායක මධූෂ්ගේ මාකඳුරේ නිවසට ගොස් එය පරීක්ෂාවට ලක් කර, ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
එමෙන්ම ඊයේ දිනයේදී කඹුරුපිටියේ පිහිටි මධූෂ්ගේ පුංචි අම්මාගේ නිවසද පොලිසිය පරීක්ෂාවට ලක්කළා.
පසුව ඇයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්වල පිහිටි තානාපති සහ කොන්සල් කාර්යාල හරහා ඉදිරි කටයුතු සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම, මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර කඹුරුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ද සිටින අතර ඉන් එක් අයෙකු කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.