Gossips

මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායකදී CID භාරයට (ඡායාරූප)

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටි තවත් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද (08) අලුයම 5.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 226 දරණ යානයෙන් මොවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් සහ කොළඹ 10 ජුම්මා මස්ජීඩ් පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මොහොමඞඩ් මුෆාර් මොහොමඩ් ජබීර් මෙලෙස සී.අයි.ඩී භාරයට ගෙන තිබෙනවා.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී පසුගිය පෙබරවාරි 5 වනදා අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 13 දෙනෙකු මීට පෙර ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.
ඔවුන් අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන්, පාතාල නායක කංජිපානි ඉම්රාන් ද ඇතුලත්.
මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි හි නීති කටයුතු අවසන් වූ සැණින් පිටුවහල් කරන බවට එරට රජය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසට පොරොන්දු වී ඇතැයි එරටින් ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා.
එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේ මෙම ක්‍රියාවලියේදී මධුෂ් විසින් එරට අධිකරණයකට ගොනු කර ඇති පිටුවහල් නොකිරීමේ අභියාචනය සැලකිල්ලට නොගනු ඇති බවටයි.

ඡායාරූප – කටුනායක, කපිල