Gossips

මධූෂ් සමග අත්අඩංගුවට ගත් ජංගාගේ නිවසෙන්, හමුදා ඇදුම් සහ ටී – 56 උණ්ඩ (ඡායාරූප)

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකු වූ අනුශ්ක කවිශාල් නොහොත් ජංගා ගේ මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය අද සොයාගත්තා.
ඒ, ඔහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදීයි.
මාකඳුරේ මධූෂ්ගේ සහ ඔහු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පාතාල සාමාජිකයින් 06 දෙනෙකුගේ නිවාස පරීක්ෂා කිරීමට පොලිසිය අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කළා.
මාතර කොට්ඨාශ භාර උසස් පොලිස් නිලධාරීයෙකු කියා සිටියේ එහිදී 38 හැවිරිදි අනුශ්ක කවිශාල් හෙවත් ජංගා නැමැත්තාගේ ගන්දර නිවසෙන් මෙම හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල සහ උණ්ඩ මෙන්ම හිස් කොපු කිහිපයක්ද සොයාගත් බවයි.
නිවසේ සිටි ජංගා ගේ 82 හැවිරිදි මුත්තණුවන්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, හිමිකරුවෙකු නොමැති යතුරුපැදි 03 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම, පොලිසිය අද දිනයේදී පාතාල නායක මධූෂ්ගේ මාකඳුරේ නිවසට ගොස් එය පරීක්ෂාවට ලක් කර, ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
එහි ඇය සමඟ ඇයගේ දෙමව්පියන් වාසය කරන අතර, මීට කලකට පෙර මධූෂ් එහි විසූ ඔහුගේ දරුවෙකු ඩුබායි රාජ්‍ය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනයේදී කඹුරුපිටියේ පිහිටි මධූෂ්ගේ පුංචි අම්මාගේ නිවසද පොලිසිය පරීක්ෂාවට ලක්කළා.
පසුව ඇයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
එමෙන්ම, ඩුබායි හිදී මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් මාතර පදිංචි අනෙක් පුද්ගලයින්ගේ නිවාසද පොලිසිය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී තවත් තුන් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්වල පිහිටි තානාපති සහ කොන්සල් කාර්යාල හරහා ඉදිරි කටයුතු සිදුකරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම, අත්අඩංගුවට ගත් පිරිස අතර තම ලේකම්වරයෙකු සිටින බවට එල්ල වන චෝදනාව පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබෙනවා.


ඡායාරූප – මාතර අදීශ ආරියතිලක