පාතාල නායක මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් ඩුබායි හි නීති කටයුතු අවසන් වූ සැණින් පිටුවහල් කරන බවට එරට රජය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසට පොරොන්දු වී ඇතැයි එරටින් ලැබෙන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා.
එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේ මෙම ක්‍රියාවලියේදී මධුෂ් විසින් එරට අධිකරණයකට ගොනු කර ඇති පිටුවහල් නොකිරීමේ අභියෝගය සැලකිල්ලට නොගනු ඇති බවටයි.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන්රූයන් ඇතුළු 31 දෙනෙකු ඩුබායි හි පැවති සාදයක් අතරතුර එරට පොලීසියේ අත්අඩංගුවට පත්වූයේ පෙබරවාරි 5 වනදායි.
මධුෂ් ලක්ෂාන් හෙවත් මාකඳුරේ මධුෂ් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් නේවාසික වීසා මත ඩුබායි හි රැදී සිට ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව ඔහුට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් භාවිත කර ඩුබායි රාජ්‍යයේ ආගමන විගමන නීති උල්ලංගණය කර ඇති බවට ද චෝදනා එල්ල වනවා.
ඩුබායි රාජ්‍යයේ සාමාන්‍ය නීතිය කඩ කිරීමේ චෝදනාවන්ට අමතරව ආගමන විගමන නීති කඩ කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට නීතිමය කටයුතු සිදුකරමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ මධුෂ් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගියේ ඒ අතරතුරයි.
එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් හමුවූ තිලක් මාරපන අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ලිපියක් ද එරට ජනාධිපති ෂෙයික් ඛලීෆා බින් සෙයිඞ් කුමරු වෙත ලබාදීම සඳහා ද භාර දුන්නා.
කෙසේ වෙතත්, තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මධුෂ් ඩුබායි අධිකරණයේ අභියාචනයක් ගොනු කරනු ලැබුවේ ඒ අතරතුරයි.
මේ අතර, නීතිමය කටයුතු අවසන් කිරිමෙන් අනතුරුව මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනු ඇත්තේ උදර්පන නීතිය යටතේ නොවන බවට නීති විශාරදයින් පෙන්වා දෙනවා.
ඊට හේතු වී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ නමකින් පෙනී සිටීමයි.
මෙලෙස පිටුවහල් කරන පුද්ගලයෙකුට නැවත එසේ පිටුවහල් කරන රාජ්‍යයකට නැවත ඇතුළු වීමේ අවස්ථාව ද සහමුලින් වැළකී යනවා.
ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනාගෙන් 13 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.