Gossips

මධූෂ් ඇතුළු කණ්ඩායමේ ඩුබායි අධිකරණ පරීක්ෂණය ගැන විදේශ අමාත්‍යාංශය අවධානයෙන්

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
රාජ්‍යයේ නීති කඩ කිරීමේ චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් දැනට අධිකරණමය පරීක්ෂණයක් සිදුවන බවත් එමඟින් දැනුම් දී තිබෙනවා.
එවැනි අධිකරණමය පරීක්ෂණයක් සිදු කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නුසුදුසු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදහසයි.
කෙසේ වෙතත්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය සහ අබුඩාබි තානාපති කාර්යාලය මෙම සිද්්ධිය සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ එම උසස් නිලධාරීයා තවදුරටත් කියා සිටියා.
එසේම, මාකදුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියේ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී ඒ සඳහා දින වෙන් කරනු ඇති බවයි.
මේ අතර, රුපියල් ලක්ෂ 70ක කේරල ගංජා සමඟ මරදානේදී අනතුරට පත් සුපිරි මෝටර් රථය කුලී පදනම මත අවසන් වරට ලබාගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ මෝටර් රථයේ හිමිකාරිනිය මීට මාස කිහිපයකට පෙර එය බම්බලපිටිය ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයකට ලබාදී ඇති බව සදහන්.
ඉන් අනතුරුව එම ආයතනය වෙනත් පුද්ගලයෙකුට මෝටර් රථය ලබාදී ඇති අතර, පසුව ඔහු විසිනුයි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුට මෝටර් රථය ලබාදී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් මෝටර් රථයේ හිමිකාරිනියගෙන් සහ කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අද අළුයම 3ට පමණ මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ මගී පාලමේ මෙම සුපිරි මෝටර් රථය ගැටී තිබුණා. පොලිසිය එම ස්ථානයට යන විට එහි පැමිණි පුද්ගලයින් පලාගොස් තිබූ අතර පසුව මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 70 ක් සොයා ගත්තා.