Gossips

මධූෂ්ගේ පියාගේ අවමගුල සංවිධාන කළ බණ්ඩාට ඔරුවලදී පොලීසියෙන් වෙඩි

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේදී අද දහවල් පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයා පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලූ සංවිධාන කටයුතු සිදුකළ තැනැත්තා බවට අනාවරණ වී තිබෙනවා.
මාකදුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයන්ගේ සමීපතමයෙකු වන 30 හැවිරිදි ඔහු රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නමින් හැදින්වෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
වෙඩි වැදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් අද පස්වරුවේ ඔහු කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා.
බණ්ඩා නමැති මෙම පාතාල සාමාජිකයා පොලිස් නිලධාරියෙකුට මරු කැදවූ මාතර රන් කොල්ලය සදහා සැකකරුවන් පැමිණි වෑන් රථය පැදවූ සැකකරු බවට ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මේ අතර, බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පාතාල සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් කිහිපදෙනෙකුද සිටින බවයි.
කාන්තාවන් දෙදෙනකු ද, අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා. වෙඩි තැබීම සඳහා යොදාගත් ටී 56 ගිනි අවියක්, තියුණ ආයුධ කිහිපයක් සහ මෝටර් රථයක් මෙන්ම කොල්ලකන ලද යතුරුපැදිය ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.
යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෙම වෙඩි තැබීම සිදුවුණේ ඊයේ රාත්‍රි 8.20 ට පමණයි.
එහිදී තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා, පයාගල – මුංහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.