Gossips

මධූෂ්ගේ තවත් සබඳතා ගැන පොලිස් ඇස

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයින් සහ ඔහු සමග මෙරටදී සබදතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ පසුගියදා ඩුබායිහිදී මධූෂ් සමඟ අත්අඩංගුවට ගැණුනු 25 දෙනාගෙන් 7 දෙනෙකු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට ස්ථිර ලෙසම හදුනාගෙන ඇති බවයි.
ඒ අනුව, කඹුරුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු, වැලිගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සහ ගන්දර ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු හදුනාගෙන තිබෙනවා.
ඉන් එක් අයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගාගේ මාතර – ගන්දර නිවසේ තිබී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් ඇතුළු අවි ආයුධ කිහිපයක් පොලිසිය සොයා ගත් අතර, නිවසේ සිටියදී ඔහුගේ 82 හැවිරිදි මුත්තණුවන්ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.
පසුව, ජංගාගේ ඥාතියෙකු වන හමුදා සෙබලෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත්තේ අනුරාධපුරයේදීයි.
එමෙන්ම, එලෙස හදුනාගත් අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි එම උසස් පොලිස් නිලධාරියා සදහන් කළේ.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගැනුණු රංගන ශීල්පී රයන් වැන් රෝයන් භාවිත කළ බවට සැක කෙරෙන මෝටර් රථය මාතර – මිරිස්ස ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
ඒ, ඩුබායි රාජ්‍යයේදීම අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජික සන්ෂයින් සුද්දාට අයත් හෝටලයක නවතා තිබියදීයි.
රංගන ශිල්පි රයන් වැන් රෝයන් පැදවූ බවට සැක කෙරෙන මෙම මෝටර් රථය වැලිගම පොලිසිය සොයාගත් අතර, එම හෝටලයේ හිමිකරු වන සන්ෂයින් සුද්දා මාකඳුරේ මධූෂ්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බෝට්ටු සපයන පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා.
සොයාගත් මෝටර් රථය වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිසිය වෙත ගෙනවිත් සිදුකළ විමර්ශනයේදී එහි තිබී ගංජා ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 750 ක් සොයාගත් බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
මේ අතර, මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ වන තිලිණි නිශායා තිලකරත්නට අයත් මෝටර් රථයක් ඊයේ පාදුක්ක පොලිසිය සිදුකළ වැටලීමකදී සොයා ගත්තා.
ඒ, පාදුක්ක – පෝරෙගෙදර – අරලියමාවතේ පිහිටි නිවසක ගෙවත්තක නවතා තිබියදීයි.
අදාළ නිවසේ හිමිකරු සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිසිය සඳහන් කළේ ඔවුන් මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි.
එමෙන්ම 2015 වසරේ මාකඳුරේ මධුෂ්ට විදෙස්ගතවීමට සහය දුන් බව කියන පුද්ගලයෙකු වන ෂිවා නැමැත්තාට අයත් කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.