Gossips

මධුෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් දෙදෙනෙකු කටුනායකදී රහස් පොලිසිය භාරයට

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
අද අලූයම 5.55 ට පමණ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් මොවුන් මෙරටට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පියල් පුෂ්පකුමාර සහ මොහොමඞ් අෆ්රිඞී මොහොමඞ් ඉන්හාම් එලෙස පැමිණි පුද්ගලයන් වනවා.
මධුෂ් සමඟ අත්අඩංගුවේ පසුවූ 21 දෙනෙකු මීට පෙර දිවයිනට පැමිණි අතර, අද පැමිණි දෙදෙනා සමඟ එම පිරිස 23 දක්වා ඉහළ යනවා.
මේ අතර ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් 6 දෙනාගෙන් එක් අයෙකු වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබුණා.
ගයාන් බුද්ධිම පෙරේරා, නමැත්තා මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී ඇති අතර සෙසු 5 දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවයි එහි ප්‍රකාශකයෙකු අප වෙත සදහන් කළේ.
මේ අතර ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ පාතාල නායක මාකදුරේ මධුෂ් එම රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද, නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද ලබාදීමට නියමිතයි.
සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකදුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතීඥයෙකු මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවයි අද ලබාදීමට නියමිතව ඇත්තේ.