Gossips

මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම කල් යයි – පියාගේ අවසන් කටයුතු සංවිධාන කළ අසේල සහ නාලක අත්අඩංගුවට

ඩුබායි හි දී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇති බවට වාර්තා වනවා.
එරට ආරංචි මාර්ග සඳහන් කළේ පොලීසිය මගින් සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් අධිකරණයට ඉදිරිපත් කිරීම මෙලෙස පමා වනු ඇති බවටයි.
මේ අතර, මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ පාතාල කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙරට දී දැනටමත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහුත් සමඟ සමීපතම සබඳතා පැවැත්වූ අයෙකු වන අකුරැස්ස – තෙලිජ්ජවිල – තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ අසේල එරංග හෙවත් ගෙසා නැමති 23 හැවිරිදි තරුණයෙකු ටී – 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟින් සූරියවැව – විහාරගල ප්‍රදේශයේදී අද දහවල් අත්අඩංගුවට ගැණුනා.
සැකකරුට එරෙහිව ඝාතන සහ අපරාධ චෝදනා රැසක් ද පවතින අතර, ඔහු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු භාරව කටයුතු කළ අයෙක්.
මීට අමතරව ඔහු මධුෂ් සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා තිබෙනවා.
එමෙන්ම, මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු ද අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම, පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා ද මට්ටක්කුලිය ප්‍රදේශයේ අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි.
මොහු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.