Gossips

මධුෂ්ගේ ඩුබායි අභියාචනය ගැන නීතිපති අවධානයෙන්

ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා එරට අධිකරණයට ගොනුකර ඇති අභියාචනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
මාකඳුරේ මධුෂ් තම අභියාචනයේ සඳහන් කර ඇත්තේ තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව තිබුණද ඩුබායිහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ චෝදනා කිසිවක් එල්ලවී නොමැති බවයි.
එමෙන්ම තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවහොත් ඩුබායි හි සියලූ වත්කම් අහිමිව යන බවද ඔහු සිය අභියාචනයේ සඳහන් කර තිබෙනවා.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ගොනුකර ඇති මෙම අභියාචනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි ප්‍රකාශිකාව සඳහන් කළේ මධුෂ් ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම අභියාචනය සම්බන්ධයෙන් දැනුවත්වී සිටින බවයි.
දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඊට අදාළ පරීක්ෂණ සිදුකරන බවයි එම ප්‍රකාශිකාව කියා සිටියේ.
මධුෂ්ගේ අභියාචනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරිපත් කර ඇති එම අභියාචනය සම්බන්ධයෙන් දැනටමත් අධ්‍යයනයක් සිදුකරන බවයි.
එරට නීතියට අනුව ලබාදෙන ප්‍රතිචාරය ඔස්සේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.
මේ අතර මධුෂ් සමඟ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් නැමති පුද්ගලයා මුදාහැර තිබෙනවා.
එමෙන්ම ඔහුත් සමඟ මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද ඇප මත මුදා හැරුණා.
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය සැකකරුට අද නියෝග කළේ පුද්ගලයෙකු ආයුධ පෙන්වා බිය ගැන්වීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බැවින් හෙට දිනයේ එහි පෙනී සිටින ලෙසයි.
මේ අතර අද අලූයම මුදා හැරුණු මොහොමඞ් සිද්ධික් මොහොමඞ් සියාම් නැමැත්තාගේ සහයකයින් පිිරිසක් එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියෙකුගේ කටයුතුවලට බාධා එල්ල කර තිබුණා.
එලෙස බාධා කිරීම හේතුවෙන් ඔහුගේ කැමරා උපකරණ වලට හානි සිදුව ඇති අතර එම මාධ්‍යවේදියා මේ සම්බන්ධයෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණිලි කළා. මොහොමඞ් සිද්ධික්ගේ නීතිඥවරයා වන අතුල මල්වත්තගේ ද ගුවන් තොටුපළට පැමිණ සිටි අතර, මේ පිළිබදව මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා.
අප මේ පිළිබදව ගුවන් තොටුපළ පොලීසියෙන් කළ කරුණු විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට සී.සී.ටී.වී. දර්ශන අධ්‍යයනය කරමින් සිටින බවයි.