Gossips

මධ්‍යම කඳුකරයට තද වැසි – විදුලි බිල වැඩි නොකරන බවට ඇමති යළි සහතික වෙයි

පැවති නියඟය නිමා කරමින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇද වැටුණා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 1.30 සිට 03 දක්වා බගවන්තලාව, නෝර්වුඞ්, මස්කෙලිය, නල්ලතන්නිය සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත වූ බවයි.
වැසි හේතුවෙන් කැනියොන්, නව ලක්ෂපාන ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වන මාවුස්සාකැලේ ජලාශයේ සහ විමලසුරේන්්ද්‍ර, ලක්ෂපාන ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන
කාසල්රී ජලාශයේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර, අද රාත්‍රියෙන් පසු ඉකුත් 25 වනදා සිට සිදු කළ පැය 04 ක විදුලි කප්පාදුව අවසන් කෙරෙන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
දිවා කාලයේ පැය තුනක් සහ රාත්‍රියේ පැයක් වශයෙන් දිවයින පුරා මෙම විදුලි විසන්ධි කිරීම සිදු කළ අතර, ඇතැම් විදුලි පාරිභෝගිකයින් චෝදනා කළේ නියමිත කාලයද ඉක්මවා ඇතැම් දිනවල විදුලිය කප්පාදු කළ බවයි.
මේ අතර පවතින විදුලි අර්බුදය විසඳීම සඳහා ගත හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ඊට අදාළ යෝජනාව අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට මුදල්, විදුලිබල හා බලශක්ති, මහාමාර්ග හා මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන සහ වරාය හා නාවික කටයුතු යන අමාත්‍යවරුන් ඇතුළත්.
මේ අතර, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100 ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6 ක කාලයක් සඳහා ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ අනුව පල්ලෙකැලේ ග්‍රිඞ් උපපොල සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් සහ ගාල්ල ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30යි ශත 20ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එංගලන්තයේ ඇග්රිකෝ සමාගමට ලබාදී තිබෙනවා.
එමෙන්ම, මහියංගනේ ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30යි ශත 58ක මුදලකට සහ පොලොන්නරුව ග්‍රිඞ් උපපොල සඳහා මෙගාවොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30 ශත 63කට සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අල්ටාඛා සමාගමයි.
හම්බන්තොට ග්‍රිඩ් උපපොල සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 28 ශත 43ක මිලකට සහ හොරණ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 28 ශත 70ක මුදලකට හොංකොං හි වී පවර් සමාගම වෙත ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් බලශක්ති විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම මිලදී ගැනීම හරහා විදුලි ඒකකයකින් රුපියල් 20ක පමණ අලාභයක් දැරීමට රජයට සිදුවන බවයි.
මේ අතර අර්බුදයට විසඳුමක් ලෙස අතිරේකව විදුලිය මිලදී ගත්තද, ගෘහස්ථ විදුලි බිලෙහි වැඩිවීමක් සිදු නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ, සමනලවැව ජල විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.