මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා.
එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදියි.
එම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතයි.
මෙහිදී බක්මහ දිවුරුම නමින් මතින් වැළකීමේ ප්‍රතිඥාව ලබාදීමට සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම සියලු පෞද්ගලික ආයතන හා වැඩබිම්, පාසල් ඇතුලු රටේ සමස්ත ජනතාවගේ දායකත්වය ලබාගැනීමට කටයුතු යොදා තිබෙනවා.
දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම එහි අරමුණ වන අතර, පෙරවරු 8.30 ට එම දිවුරුම ප්‍රකාශයට පත් කෙරෙනවා.
මහජනතාව මෙන්ම පාසල් දරුවන්ද ඊට සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගන්නා සහ භාවිත කරන පුද්ගලයන්ට එරෙහිවද ඉදිරියේදී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි.
විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගනිමින් වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අධිකරණ ඇමතිවරියට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් දැනට රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන මගින් සිදුකරන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානයට ලක්වුණා.
එම සියලු ආයතන සමඟ සාකච්ඡාවක් කැඳවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරිම සඳහා ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.