මතින් තොර රටක් නිර්මාණය කිරීමේ අභියෝගය ජය ගත හැකි වන්නේ චක්‍රලේඛ මගින් නොව රාජ්‍ය නිලධාරින් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මතින් නිදහස් රටක් වෙන්වෙන් ක්‍රියාත්මක කෙරෙන ‘‘ගම හදා ගමු’’ ග්‍රාමීය වැඩසටහනේ සමාරම්භක වැඩසටහනට අද (23) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී එක්වෙමින්.
දුම්වැටි භාවිතය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු මට්ටමින් පහත වැටී ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සඳහන් කළා.
එය මෙරට ජනතාව සෞඛ්‍ය ක්ෂේත්රය තුළින් ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
යහපත් සමාජයක් සහ සංවර්ධිත රටක් මෙන්ම නිරෝගිමත් ජනතාවක් ගොඩනැගීමේදී පවතින ප්‍රධාන අභියෝගයක් වන මත්ද්‍රව්‍ය, නිවාරණය, මර්දනය සහ පාලනය වෙනුවෙන් රජය පසුගිය වසර තුන තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන් ජාතික වශයෙන් ප්‍රතිඵල රැසක් අත්කරදී තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඔහු මෙහිදී කියාසිටියේ ග්‍රාමීය දිළිදුභාවය වර්ධනය වීමට ප්‍රධාන හේතුව අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව මත්ද්‍රව්‍ය භාවිතය සදහා වැඩි වශයෙන් යොමුවීම බවයි.
එබැවින් මෙම සමාජ උවදුර මැඩලීමට සුවිශේෂි වැඩසටහනක් අවශ්‍ය වන අතර සියලූ අංශවල දායකත්වයෙන් රජය එම කටයුත්ත සදහා මේවන විට උරදී සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.
සාමකාමී ශ්‍රී ලාංකීය සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් ,මතින් නිදහස් රටක්, ජාතික වැඩපිළිවෙළ යටතේ "ගම හදා ගමු" වැඩසටහන ක්‍රියාත්මකයි.
ගම තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය විකිණීම හා නිෂ්පාදනය අවම කිරීම සදහා තිරසර ක්‍රමවේදයක් සැකසීම සහ ගම්වාසින්ගේ සාමුහිකත්වයෙන් මෙම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කිරීම, එවැනි කර්මාන්තවල නියැලී සිටින පුද්ගලයන් වෙනත් රැකියා සදහා යොමු කිරීම හා අධීක්ෂණය කිරීම, ග්රාමීයව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සදහා අවශ්‍ය මගපෙන්වීම හා සහය ලබාදීම, ග්‍රාමීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකිරීම, ගමේ තරුණ පිරිස හා පාසල් දරුවන් මූලික කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.