Gossips

මත් ජාවාරම්කරුවන්ට එරෙහි දැඩි ස්ථාවරය එලෙසමයි – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා මුලතිව් – මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් විද්‍යාලයේ අද පැවති වැඩසටහනකට එක්වෙමින්.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් ද හඳුන්වා දීමටයි ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේ.
ඒ අනුව 1984 අංකය අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබදව තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට සහය වීම සඳහා පිලිපීන රජයේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට පැමිණෙන බවයි.
මේ අතර, යාපනය, මුලතිව්, කිනිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264කට හා රජය යටතේ තිබූ ප්‍රධාන ගොවිපළවල් 4කට අයත් ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.