දංකොටුව – යෝගියාන – මොටෑමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී එම ස්ථානයේ සිට පැන ගිය සැකකරුවෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
නීතිවිරෝධී ලෙස මත්පැන් ගබඩා කර ඇති බව පැවසෙන ස්ථානයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අදාළ නිවස පරීක්ෂා කිරීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ගොස් තිබුණා.
එහිදී නීතිවිරෝධී ලෙස නිපදවන ලද මත්පැන්වලට අමතරව නිවස තුළ රහසිගතව ගබඩා කර තිබූ ගිනි අවි ද සොයා ගෙන තිබෙනවා.
රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ඇතුළු තවත් එවැනිම වර්ගයේ ගිනි අවිය 03ක්, කඩු 03ක්, ප්ලාස්ටික් පිස්තෝල 03ක්, ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ 12ක් ඇතුළු තවත් උණ්ඩ 52ක් සහ බෝර 12 හිස් පතොරොම් කොපු 63ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
