Gossips

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම දීම ගැන එජාපය විවාදයක් ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සියලු දෙනාට අදහස් පළ කළ හැකි අයුරින් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ.
මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීමට තීරණය කර ඇති මොහොතක මත්කුඩු ජාවාරම්කරුවෙකුට මහනුවර දුම්බර බන්ධනාගාරයේ බංගලාවක නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙරට හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් මිලියන 1248ක් පමණ වටිනා හෙරෝයින් කිලෝ 103 ග්‍රෑම් 948ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 07 වනදා බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට පවුලේ සාමාජිකයන් ද සමඟ පසුගිය දෙසැම්බර් මාසයේදී දුම්බර බන්ධනාගාරයේ බංගලාවක නවාතැන් පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඔහු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙක්.
කෙසේ වෙතත් මොහුට පිළිබඳව දැන හෝ නොදැන බන්ධනාගාර බංගලාවක නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.