Gossips

මත්ද්‍රව්‍ය වැටලීම්වල නිරත නිලධාරීන්ගේ ආරක්ෂාවට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපති කියයි

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ මෙහෙයුම්වල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ නිරතව සිටින නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මත්ද්‍රව්‍ය වැටලීම්වල සහ මෙහෙයුම්වල නිරත නිලධාරින් ඇගයීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයක් අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් සිටින යුද, නාවික, ගුවන් හමුදා සහ රාජ්‍ය නිලධාරින්ගේ සේවය අගය කරමින් ඔවුන් වෙත ජනපති ප්‍රශංසා සම්මාන පිළිගැන්වීම මෙහි දී සිදු කෙරුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටට පැමිණෙන විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ සහ එම වැටලීම්වලට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ කඩිනමින් මෙරට අදාළ අංශ වෙත ලබාදීමට තමා මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි.
මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව ලොව වෙනත් රටවල් භාවිත කරන කිසිදු තාක්ෂණික උපකරණයක් නොමැතිව එම මෙහෙයුම්වල නිරතව සිටින නිලධාරින්ගේ විශිෂ්ට කාර්යභාරය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්කෙරුනා.
ඔවුන් සියලූදෙනා වෙනුවෙන් ජාතියේ ගෞරවය පිරිනමන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන් ම මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මහජනතාව තුළ ද දැඩි උනන්දුවක් ඇතිව තිබෙන අතර ඔවුන්ගේ සහය ද එම වැඩපිළිවෙළට ලැබෙන බවයි.
මහජනතාව ද මත්ද්‍රව්‍ය විරෝධි සටන සමග අත්වැල් බැඳ ගැනීම එය සාර්ථක අවසානයක් කරා ළගාවීමේ සුබ පෙර නිමිත්තක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.