Gossips

මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය නව මුහුණුවරකින්

මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් පසුගිය වසර 4ක කාලය තුළ දියත් කළ වැඩසටහන් මේ වසරේ සිට නවමු මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මතින් නිදහස් රටක් ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රියේ ප්‍රථම ගමන් වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට අද (27) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද බලවේග කට්ටල දෙකකින් සමන්විත මෙම දුම්රිය, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වනු ඇති.
වායු සමනය කළ මැදිරි දෙකකින්, දෙවන පන්තියේ මැදිරි දෙකකින් සහ තුන් වන පන්තියේ මැදිරි 7කින් ද මෙම දුම්රිය සමන්විතයි.
මෙහි එකවර මගීන් 700කට වැඩි සංඛ්‍යාවකට ගමන් කළ හැකි අතර, දැනට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන උත්තරදේවි නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ කාලසටහනට අනුව මෙය ධාවනය කිරීමට නියමිතයි.
මීට අමතරව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ තමන් ගමන අවසන් කිරීමට නියමිත දුම්රිය ස්ථානය පිළිබදව ද තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතිනවා.
අද (27) උදෑසන මෙම දුම්රිය ධාවනයට එක් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.