Gossips

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ පිරිස් බව ජනපති කියයි

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරනු ලබන්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
"මතින් නිදහස් රටක්" මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අද (30) පෙරවරුවේ අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළා.
මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙතෙක් ගෙන ගිය වැඩසටහන ශක්තිමත් කර පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරින් මුල්කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ දී ක්‍රියාවට නංවන බවයි.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියාසිටියා.
එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද නුදුරේදීම ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධව වර්තමානයේ විවිධ බලවේග ක්‍රියාත්මක වන අතර බෞද්ධ දර්ශනය විකෘති කර පෙන්විමට ගෙනයන කුමන්ත්‍රණ, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණ සේම මත්ද්‍රව්‍ය ජාවාරම ද රට විනාශ කිරීමට ගෙන යන ක්‍රමානුකූල සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එහිදී දැඩි තීන්දු තීරණ ගනිමින් සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරමින් මාතෘ භූමිය රැක ගැනීමට සියලූදෙනා පෙළගැසීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.