Gossips

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් බංග්ලාදේශයට

බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, මගින් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එහි යාමට නියමිතයි.
ඊට අනුමැතිය ලබාගැනීීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන පොලිස්පතිවරයා හරහා එරටට දැනුම්දීමට කටයුතු කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර කාන්තාවන් තුන්දෙනෙකු සිටිනවා.
ඒ අතර, පසුගිය දෙසැම්බර් 15වනදා රුපියල් මිලියන 388 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 32 යි ග්‍රෑම් 329 ක් සමඟ දෙහිවලදී අත්අඩංගුවට ගනු ලැබූ 23 හැවිරිදි බංග්ලාදේශ කාන්තාවට මෙරට රැදී සිටීමට කුලී පදනම මත රත්මලාන ප්‍රදේශයෙන් නිවසක් සොයා දීමට කටයුතු කළ කාන්තාවද සිටින බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුනු බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා දෙසැම්බර් 23 වනදා මෙරටට පැමිණ ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
ඇයගෙන් ප්‍රශ්ණ කිරීම සඳහා පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන්ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සිව්දෙනා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මකයි. බංග්ලාදේශයේ ඩකා නුවරදී පසුගියදා අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් තුන්දෙනා ඇතුලූ පස්දෙනා අවුරුදු 23 ත්, 29 ත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් සන්තකයේ තිබී මත්පෙති 1970 ක්, විදේශ මුදල් නෝට්ටු සහ ගමන් බලපත්‍රද බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය විසින් සොයාගනු ලැබුවා.