Gossips

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කර මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා අධිකාරියක් පිහිටුවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය පළ වුනා.
එම අධිකාරිය නීත්‍යානුකූල ව ස්ථාපනය කෙරෙන තෙක් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මෙම අන්තර් පාලක මණ්ඩලය පත් කිරීමටයි ජනාධිපතිවරයා අද (20) පියවර ගෙන ඇත්තේ.
පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා, විශේෂඥ මනෝ වෛද්‍ය ධනුජ මහේෂ්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමණී පෙරේරා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ශාන්ති නවුකරාසන් ඇතුළු කණ්ඩායමක් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
එම සාමාජිකයන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී ඇති අතර විධිමත් සංවිධාන ව්‍යුහයකින් යුතුව මෙම මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වාදී තිබෙනවා.
එමෙන්ම නවීන තාක්ෂණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයේ දී ලොව දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමවේදයන් අධ්‍යයනය කරමින් අදාළ කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනු ලැබුවා.
උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් එහි නියාමන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ඔහු පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම අධිකාරිය හරහා ඉදිරියේ දී ජනාධිපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය පොලිසිය ඇතුළු අදාළ ආයතන එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මණ්ඩලයේ සංවිධාන ව්‍යුහය පිළිබඳ නිර්දේශ ඉදිරි සතිය තුළ තමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නේ නම් වඩා සුදුසු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට එරෙහිව ඉදිරියේ දී දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය කඩිනමින් ස්ථාපනය කිරීමට නියමිත අතර මෙවැනි අධිකාරියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට පියවර ගැනෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.