Gossips

මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා දෙකක් හදිසියේ ගොඩ බස්වයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද 16 දින අලුයම පැවති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානය , කටුනායක ගුවන් තොටුපොළ වෙත අද 16 දින අලුයම 4.35 ට ගොඩ බැස්සවීමට පැමිණියත් , පැවති අයහපත් කාළගුණික තත්වය නිසා , එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50 ට ගොඩ බස්වා තිබෙනවා.
පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව , උදෑසන 7.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එම ගුවන් යානය A- 330 එයා බස් වර්ගයේ යානයක්.
ඊට අමතරව ඉන්දියාවේ මුම්බායි සිට අලුයම 5.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 142 දරන ගුවන් යානය ද පැවති අයහපත් කාළගුණික තත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත අලුයම 6.00 ට ගොඩ බස්වා තිබුණා.
පසුව එම යානයත් කටුනායක ගුවන් තොටුපොළ අවට කාළගුණික තත්වය යහපත් වූ පසු , උදෑසන 7.20 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත් වී උදෑසන 7.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම යානයට A-320 එයා බස් වර්ගයේ ගුවන් යානයක්.
මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මෙම ගුවන් යානා තුළින් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා නොතිබුණු බවයි වාර්තාවන්නේ.